Our Vision

To be the excellent government institution that helps the life styles of the community in a beneficial way to the society.

Our Mission

To provide a service in line with the government policies, uplift the life styles of the society through a planned, efficient development process consisting of proper co-ordination of resources and participation of the people.
 
agalawatta div map
 
Administrative History of Agalawatta,Kekulandola

     කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන පරිපාලන කොට්ඨාශයක් වන අගලවත්ත පසුබිම් කොට ඓතිහාසික පුරාවෘත්තයන් රාශියක් බිහිවී තිබේ.ග්‍රාම නිළධාරි වසම් තිස් හතරකින් සමන්විත අගලවත්ත නොහොත් ගාලවත්ත කෝට්ටේ යුගයේදී හඳුන්වන ලද්දේ කැකුළන්දොළ යනුවෙනි. තොටගමුවේ රාහුල හිමි සහ කූරගම ඉමියා සමග එක්ව කැකුළන්දොළ විසූ ශ්‍රී වර්ධන ප්‍රභූ රාජයා  විසින් කෝට්ටේ මහ රජු වන සයවන භුවනෙකබාහු රජුට විරුද්ධ ගැසූ සිංහල සංගේදම නොහොත් සිංහල පෙරළීය නම් වූ කැරැල්ලක් ගැන රාජාවලිය ඇතුළු එම යුගයේ වංශ කතා සහ පුරා වෘත්ත වල සඳහන් කර තිබේ.මේ කැකුළන්දොළ ශ්‍රී වර්ධන ප්‍රභූ රාජයා යනු සයවන පරාක්‍රමබාහු රජු ගේ දෙවන බිසව වන මිහිරි දේවියගෙන් උපන් කුමරු බව ප්‍රවාද ගතව තිබේ. සිය මවත් සමග ළපටි වියේදීම මාළිගයෙන් පිටමං ව පස්යොදුන් කෝරළයට පැමිණ ආරක්ෂාව පතා ලැගුම් ගෙන සිටි අතර වැඩිවියට පත් වූ පසු රජු ගෙන් කරුණාව ලැබ ප්‍රභූ රාජ පදවිය ලද බව සඳහන්ය.නමුත් ඔහුගේ මස්සිනා වූ සපුමල් කුමරු නොහොත් සයවන භුවනෙකබාහු රජ වීමෙන් ඉක්බිතිව රටට ද්‍රෝහී පිළිවෙතක් අනුගමනය කිරීම නිසා කැරැල්ලක් ඇති කළ බවද සඳහන්ය.
      මේ කැරැල්ලට පසු බිම් වූ ප්‍රදේශය නම්  කැකුළන්දොළ රන්වලාගල මතුගම ආදී ප්‍ර දේශයි.කුමරු ට අධ්‍යාපනය ලබා දීම පිණිස ඉන්දියායෙන් බ්‍රාහ්මණයන් පැමිණ ඇත. ඔවුන් නවාතැන් ගත් ස්ථානය ඉහළ කන්ද යි. අකුරු කරවූ තැන ලියන ගෙදරයි. සටන් පුහුණුව ලැබූ තැන රාජමල් වගුර නොහාත් රාජ මල්ලව ගුරු කන්දයි. ඔහු ගේ පාලන සමයේ රාජකීය උයනක්ද කරවා ඇත. එය මුලටියන නමින් අද හැඳින්වේ.මේ යුගයට අයත් යැයි සැලකිය හැකි කළු ගල් බැම්මෙන් තැනූ පතහක් පිඹුර වත්තේ තිබේ.එය බ්‍රිතාන්‍ය පාලන සමයේදී ඔවුන්ගේ රබර් ස්ටෝරුව ක්‍රියාකරවන්නට ජලය ගබඩා කළ තැනක් වශයෙන් සංවර්ධනය කර ඇත. ශ්‍රී වර්ධන ප්‍රභූරාජවරයා සපුමල් කුමරු සමග යාපනයේ ආර්ය චක්‍රවර්තී වරුන් ජය ගැනීම උදෙසා පිටත්ව ගොස් තිබෙන අතර මෙම ප්‍රදේශයේ ජීවත් වූ ජයවීර සමරනායක ආදී නම් ඇති සෙනවියන් සමගින්ද ගිරි නම් හස්තිරාජයෙකු සමගින්ද සිටි බව සඳහන්ය.මෙම යුද්ධය ජය ගැනීමෙන් පසු සපුමල් කුමරු සේනානායක සපුමල් යනුවෙන්ද ශ්‍රී වර්ධන කුමරු සමරවීර ශ්‍රී වර්ධන යනුවෙන්ද සම්මාන ලද  බව පැවසේ. යුද්ධයෙන් පසුව  එම ජයග්‍රහණය සිහිකරලීම පිණිස ශ්‍රී වර්ධනයන් කෝට්ටේ රජමහ විහාර ස්ථූපයත් ගංගොඩවිල විජයාරාම ස්ථූපයත් කැකුළන්දොළ විහාර ස්ථූපයත්  ගොඩ නැන්වූ බව පැවසේ. පසුව වීචිය බණ්ඩාරයන් පැලෑඳට පැමිණි පසු මේ ප්‍රදේශය තව දුරටත් සටන් මධ්‍යස්ථානයක් වශයෙන් භාවිතා කර තිබේ.
       කෝට්ටේ යුගයේ ඉතිහාස කරුණු බහුලව මෙහි හමුවන නමුදු පොළොන්නරු යුගයේ මානාභරණ කුමරු  විසින් කළ සේනා සංවිධානයටත් මෙම ප්‍රදේශය භාවිතා කළ බවට සාක්ෂි හමු වේ.එය සිහිපත් වීමට මුලටියන ප්‍රදේශයේ මානාභරණ නමින් ගල් අමුණක්  ද මානාභරණ නමින් වෙල් යායක්ද තිබේ.ශ්‍රී වර්ධන කුමරු රන්වලා ගල ආසන්නයේ සටන් වැදි සමයේ බිසෝ වරු දිය නෑ  සුන්දර දිය ඇල්ලක් ඇත. එම ඇල්ලෙන් ගලා හැලෙන ජලය  පීළී හතකින් වැටෙන  බවද ජනප්‍රවාද ගතව තිබේ.කැකුළන්දොල පිහිටි ටැම්පිට විහාරය කෝට්ටේ යුගයේ ගෘහ නිර්මාණ ශිල්පය හෙළි කරන අගනා වාස්තු නිර්මාණයකි. එහි පවතින නව බුද්ධ මන්දිරයේ ශ්‍රී වර්ධන ප්‍රභූරාජයාගේ පිළිරුවක්ද නිමවා ඇත.කැකුළන්දොළ රජමහා විහාරය ඇරුණු කොට වඩා වැදගත්ම ස්ථානය ලෙසට හමුවන්නේ කිතුල්ගොඩ ගණේ ගොඩැල්ල පුරාණ විහාරය වික්‍රමශිලා පිරිවෙන සහ කළුපහන විජේසුන්දර පුරාණ විහාරය නොහොත් අම්බලන්පිටිය පන්සලයි. කිතුල් ගොඩ විහාරයේ පුරාණ කම පෙන්වන කදිම සාක්ෂියක් ලෙසට එහි දකින්නට ලැබෙන සෙල් ලිපිය හැඳින්විය හැකිය.එයට අමතරව නාථ දෙවියන් ගේ හිඳි පිළිමයක්ද අගනා චිත්‍ර සමූහයක්ද මෙම විහාරයේ දක්නට ලැබේ.අම්බලම් පිටිය පන්සල දහනමවන සියවසේ මුල්කාලයේ දී පූජ්‍ය මිහිරිපැන්නේ ධම්මරතන ස්වාමීන් වහන්සේ විසින් ගොඩනැන්වූවකි.එයට අමතරව දාපිළිගොඩ ග්‍රාම නිළධාරි වසමට අයත් හුරුලු ගෙදර පත්තිනි දේවාලය වටාද ජනප්‍රවාදයන් රැසක් ඇත. එම ප්‍රදේශය හඳුන්වන්නේද කපුගම යන නාමයෙනි. කපුගම  කන්දේ රන්ගල නමැති ස්ථානයේ පැරණි දේවාලයත් පත්තිනි සළඹත් තිබූ බවට ද පැරණියක් පවසති. මෙම කන්දට යෑම් ඊම් කිරීමේදී අතරමං වන බවද දේව හාස්කමකින් මෙන් පාර සොයා ගත හැකි බවද පැවසේ.
   
අගලවත්ත පරිපාලන ඉතිහාසය -

            වසර දෙදහස් පන්සියයක සිංහල ඉතිහාසයේ  රාජ්‍යත්වය හා බැඳුණු ඉතා ශක්තිමත් නිල බල ධූරාවලියක් පැවති ආකාරය පිළිබඳ නිදර්ශන රැසක් ඇත.පරුමක ගමික ගම්ලද්දා රටලද්දා ඈපා මාපා  ආදී වශයෙන් එම ධූරාවලිය පැවතුණි. අවසාන සිංහල රාජ්‍ය සමය නොහොත් සෙංකඩගල මහනුවර අවදිය වන විට.අදිකාරම් දිසාවේ රටේ මහත්තයා මුහන්දිරම් කෝරාළ ආරච්චි කන්කානම ගමරාළ  දක්වා මෙම ධූරාවලිය විකාශනය වූ බව දැක්විය හැකිය.ඉන්දීය ආක්‍රමණ වලට ගොදුරු වූ වන්නි ප්‍රදේශ වල මුදලි  වන්නියාර් උඩයාර් ආදී ධූරාවලයක් තිබුණි. එම නිලතල   රටේ භූගෝලීය හැඩ ගැස්මට සාපේක්ෂ පරිපාලන රටාවක් මත  හැඩ ගැසී තිබූ බවට කල්පනා කළ හැකිය.එසේම එම ක්‍රමය වරින් වර ඓතිහාසික සමාජ හා දේශපාලන විකාශනයට අනුව වෙනස් වෙමින් පැවති බවද පෙනේ.1815 වර්ෂයේ දී සිංහල නිළමේවරු බ්‍රිතාන්‍ය නිළධාරින් සමග අත්සන් කළ සුප්‍රකට සිංහලේ ඉංග්‍රීසි ගිවිසුමෙන් පසු රටේ පරිපාලනය ඉංග්‍රීසීන් සතු විය.ඔවුහු 1818 වර්ෂයෙන් පසු රටේ විශාල දේශපාලන ප්‍රතිසංස්කරණ රාශියකට අත තැබූහ. එහි ප්‍රතිඵලයක් වශයෙන් වර්ෂ 1833 වර්ෂයේ ඩබ්.එම්.ජී.කෝල්බෘක් සහ එච්. කැමරන් නම් කොමසාරිස් වරුන් දෙදෙනෙකු ලංකාවට පැමිණ සකස් කළ කොමසාරිස් වාර්තාවේ නිර්දේශ මත    1833 දී ලංකාව පළාත් පහකටද පසුව පළාත් නවයකටද කොටස් කළහ.  මෙම පළාත් වල දිස්ත්‍රික්ක මායිම් සළකුණු කළහ.ඉන්පසු සිංහල රජ දවස තිබූ නිලබල ධූරාවලිය යම් තරමකින් වෙනස් කොට ඉංග්‍රීසී පරිපාලන රටාව හඳුන්වාදෙන ලදී.එය  සිවිල් සර්විස් යනුවෙන් දක්වා ඇත. එම පරිපාලන ප්‍රදේශ සඳහා ආණ්ඩුවේ ඒජන්ත වරුන් වශයෙන් ඉංග්‍රීසි නිළධාරීන් පත් කිරීමටද කටයුතු කළහ.
      මෙලෙස කළුතර දිස්ත්‍රික්කය සඳහා ද ආණ්ඩුවේ ඒජන්ත වරයෙකු පත් කරන ලදහ.ඒ 1876  දී එච්.එච්. කැමරන් මහතාය.ඔහුට සහාය වීමට සහකාර ඒජන්තවරයෙකුද පත් කර තිබුණි.පැරණි ලංකාවේ පරිපාලන බෙදීම් අනුව වර්තමාන කළුතර දිස්ත්‍රික්කය පස්යොදුන් කෝරළය යනුවෙන් හඳුන්වා ඇත. දිස්ත්‍රික් ක්‍රමය ස්ථාපිත කිරීමෙන් පසුව බටහිර පස්යොදුන් කෝරළය නැගෙනහිර පස්යොදුන් කෝරළය රයිගම් කෝරළය සහ කළුතර තොටමුණ යනුවෙන් දිස්ත්‍රික්කය කොටස් කීපයකට වෙන් කරන ලදහ.ආණ්ඩුවේ ඒජන්ත යටතේ මෙම කෝරළ පාලනය කරන ලද්දේ මුහන්දිරම් හෝ මුදලි වරුන් විසිනි.ඉන්පසු විදානේ ආරච්චි වරුන් සහ ගම්මුලෑදෑනීන් වූහ. ගම්මුලාදෑනි වසම් දහයකට එක් ආරච්චි කෙනෙකු විය.පැරණි උඩරට පාලන ප්‍රදේශයන්හි රටේ මහත්තයා කෝරාළ ගන් ආරච්චි ආදී තනතුරු ඇති විය.නැගෙනහිර පස්යොදුන් කෝරළයේ සිටි අවසාන මුහන්දිරම් වන්නේ රංචු අටේ වලව්වේ රාජකරුණ සෙනෙවිරත්න අබේකෝන් මුදලි තුමා ය..     1927 වර්ෂයේ දී ඩොනමෝර් සාමිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කොමිසමේ නිර්දේශ අනුව පළාත් පාලන බලතල පුළුල් කරන්නට ඉංග්‍රීසි ආණ්ඩුව කටයුතු ආරම්භ කරන ලදහ. ඒ අනුව රාජ්‍ය මන්ත්‍රණ සභා අවදියේ 1932 දී  ගම් සභා ආඥ පනත අනුව ගම් සභාව ශක්තිමත් කරලීමට ආණ්ඩුව කටයුතු කළහ. පසුව 1938 අංක20 දරණ පනතින් ගම් සභා වල මෙතෙක් පැවති බලතල පුළුල් කරන ලදී. පොදු මුද්‍රාවක් තබා ගැනීම දේපළ මිලට ගැනීම බදු අය කිරීම වැනි බලතල පුළුල් වීම නිසා දිස්ත්‍රික්කයේ ආණ්ඩුවේ ඒජන්ත වරයාට කාර්ය බහුල විය. මේ නිසා එවකට පැවති දිස්ත්‍රික්ක 17 ප්‍රාදේශීය ආදායම් පාලක කොට්ඨාශ 111 කට බෙදීමට අවශ්‍ය කටයුතු සිදු කර කර තිබේ. මෙම පියවර 1939 වර්ෂයේ දී ගැනුණු බව මිනුම්දෝරු දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද සිතියමෙන් පෙන්වා දිය හැකිය.මේ අනුව මුදලි තනතුරු අහෝසි වූ අතර ඩී.ආර්.ඕ. නම් විභාගයකින්  ප්‍රථම වරට ප්‍රාදේශීය ආදායම් පාලකවරුන් නොහොත් ඩී.ආර්.ඕ. වරුන් බඳවා ගෙන ඇත.අනතුරුව 1943 වර්ෂයේ දී ලංකාවේ දී සිවිල් සේවා විභාගය(CCS) පළමු වරට පවත්වා  සමත් වූ අයදුම්කරුවන් ද (ඩී.ආර්.ඕ.) වශයෙන් පත් කරගන්නා ලදහ.
        මෙම බඳවා ගැනීම් අනුව නැගෙනහිර පස්යොදුන් කෝරළයේ ආදායම් පාලක නිළධාරි වරුන් වශයෙන් ජෝර්ජ් එදිරිවීර (1940-1942) ඇල්බට්  එඩ්වඩ් පණ්ඩිතරත්න (1942-1945) වරාගොඩ මුදලිගේ ඔලිවර් එබ්‍රහම් පෙරේරා (1945 -1950) ඔස්ටින් රාජකරුණා (1950-1955) මලවන විදානෙලාගේ දොන් සිරිල් කරුණාසේකර  (1955-1956) පියසේන අමරපාල අබේවික්‍රම (1956 -1958)  ඉන්ද්‍රදාස වික්‍රමසිංහ (1959 ජන-1959අප්‍රි) ඥානසේනද සොයිසා ගුණසේකර (1959 -1961)යන මහත්වරු කටයුතු කර තිබේ.1961 වර්ෂයෙන් පසුව නැවත ජෝර්ජ් එදිරිවීර (1961 -1964) පත්ව පැමිණියේය. 1962 වසරේදී පැරණි ගම්මුලාදෑනි ක්‍රමය ක්ෂණිකව වෙනස් කරන ලදී. ඉන්පසු ග්‍රාම සේවක නමින් යුත් නව තනතුරක් ඇති කොට ගම් මට්ටමේ නිළධාරීන් පත් කොට ඇත.මේ සඳහා මධ්‍යගත විභාගයක්ද පවත්වන ලදී.මේ අනුව දිවයින පුරා ඉදිරිපත් වූ අපේක්ෂකයන් 14000 ක ගෙන් 3663 දෙනෙකු මෙම තනතුරට බඳවා ගෙන ඇත.මෙම ක්ෂණික වෙනස් වීම නොරිස්සූ පැරණි ගම්මුලාදෑනීන් රට පුරා විරෝධයක් ඇති කළ බවට වාර්තා වේ. නමුත් පසුව පැරණී ගම්මුලාදෑනීන්ද මෙම තනතුර ලබා ගැනීමට ඉදිරිපත් වූ අතර ඇතෙමෙක් එයින් නව ග්‍රාම සේවක ලෙස තේරී පත් විය.ඔවුන් හට නව පත්වීම දෙන ලද්දේ වැඩ බලන ගම්මුලාදෑනී සහ ග්‍රාම සේවක යනුවෙනි. මෙලෙස ග්‍රාම සේවක  මහත්වරුන් පිරිසක් ද නැගෙනහිර පස්යොදුන් කෝරළය වෙනුවෙන් 1963 මැයි පළමුවනදා වැඩ භාර ගෙන තිබේ.
    ජෝර්ජ් එදිරිවීර මහතා මාරු වී යෑමෙන් පසු සිසිල් අමරසිංහ (1964-1965)එල්.ඒ.සී.එම්.ඒ. අමරසිංහ (1965-1966) සුගතදාස සේරසිංහ(1966-1967)  ජී.එම්. පුංචිහේවා (1967 -1970)යන මහත්වරු අගලවත්ත ප්‍රාදේශීය ආදායම් පාලක වරුන් ලෙසට සේවය කර ඇත. ඉන්පසු මාස හතරක් වැනි කෙටි කලක් එම තනතුරේ වැඩ කරන ලද්දේ ප්‍රකට පරිපාලන නිළධාරි වරයෙකු වූ නිමල් සමරසුන්දර මහතාය. ඉන්පසු ශ්‍රී ලංකා පරිපාලන සේවයෙන් (CAS) පත් වීම ලබා පැමිණි ඩී.ජී.හපුතන්ත්‍රී නොහොත් ආචාර්ය සූරිය ගුණසේකර මහතා 1970 වසරේ පත්වී පැමිණියේය. ඔහු 1973 දක්වා ආදායම් පාලක නිළධාරි වරයා ලෙසට සේවය කර තිබේ.
      මේ කාලයේ වර්තමාන වලල්ලාවිට ප්‍රාදේශීය බල ප්‍රදේශය. අයත්ව තිබුණේ අගලවත්තටයි. ඒ අනුව යට්ටපාත පැෂන් වගාව ආරම්භ කළ බව සඳහන්ය.සූරිය ගුණසේකර මහතා ගෙන් පසුව ප්‍රාදේශීය ආදායම් පාලක නිළධාරි වශයෙන් පුණ්‍යසිරි සුබසිංහ මහතා(1973-1978) අගලවත්ත ප්‍රදේශයට පත්ව පැමිණියේය.ඉන්පසුව පී.ඩී.ජයනෙත්ති මහතා  (1978-1987) සහ අයි .එච්.කේ මහානාම (1987-1990) යන මහත්වරු සේවය කළහ.1990 ජූනි පළුමවන් දින සිට ප්‍රා දේශීය උප දිසාපති තනතුර  පළත් සභාව යටතේ ප්‍රාදේශීය ලේකම් යනුවෙන් වෙනස් කරන ලදහ. මෙහිදී මෙම තනතුර වෙනුවෙන් අගලවත්තට පත්ව පැමිණියේ   එම්.එම්.සී.ප්‍රදිනාන්ඩු (1990-1992) මහතාය. අනතුරුව නැවත පළාත් සභාව යටතේ පැවති ප්‍රා දේශීය ලේකම් තනතුර නැවත මධ්‍යම ආණ්ඩුවට එක් කර ගන්නා ලදී. මෙහිදී පෙර සිටි උප දිසාපති වරයෙකු වූ පී.ඩී.ජයනෙත්ති මහතා (1992-1997 ) නව ප්‍රාදේශීය ලේකම් ලෙසට පත්වී පැමිණීයේය.අනතුරුව ඩී.වාස් ගුණවර්ධන (1997-1998)  සෝමා ජයතුංග මහත්මිය (1999 ජන-ඔක්) ඩී.පී.එල්.එල් පෙරේරා (1999 -2002 ) ග.හේ. පියදාස ( 2002-2003) කේ.ටී. අමරදාස ( 2003-2009) එච්.පී.සුමනසේකර (2009 -2011)  (2011-2015 ) ජී.එස් කන්නන්ගර (2015-2018) යන මහත්ම මහත්මීන් කටයුතු කර ඇත. 2018 වසරේ සිට අගලවත්ත ප්‍රාදේශීය ලේකම් වරිය ලෙසට  දන්තිකා පුංචි වෙඩික්කාර මහත්මිය ද සහකාර ප්‍රාදේශීය ලේකම් වරිය ලෙස මධුසරණී රාජපක්ෂ මහත්මියද කටයුතු කරනු ලබති .
මතුගම සෙනෙවිරුවන්
මූලාශ්‍ර -
1/ Ceylon Civil List -1940 -1960
2/ Civil Service Administration in Ceylon –wishva warnapala -1974

මෙම ඉලිහාස තොරතුරු සම්පිණ්ඩනය කිරීමේදී හිටපු  උපදිසාපති වරයෙකු වූ නිමල් සමරසුන්දර සහ ආචාර්ය සූරිය ගුණසේකර යන මහත්වරුන්ද හිටපු ග්‍රාම නිළධාරීන් වන ලැනී ධර්මදාස ශ්‍රීමපාල විතාන  සහ ඒ.කේ.පියදාස යන මහත්වරුන්ද අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කළ විශ්‍රාම ලත් පරිපාලන නිළධාරී යසරත්න මහතාද කේ.පී.කේ. පියසේන මහතා ද තොරතුරු සපායා දීමට එක් වූහ. ඔවුන් සැම දෙනට ස්තූතිය පළ කරමි.
 


 

Role performed at DS

Name From To
1. Mr.M.M.C.Pradinandu  1990  1992
 2.Mr.P.D.Jayanetty  1993  1997
 3.Mr.C.Vas Gunawardena  1997 1998
 4.Mrs.soma Jayathunga 1999 Januwary 1999 Octomber
 5.Mr.D.P.L.C.Perera 1999  2002
 6.Mr.Ga.Ha.Priyadasa  2002  2003
 7.Mr.K.T.Amaradasa  2003  2009
 8.Mr.H.P.Sumanasekara  2009  2011
 9.Mr.H.A.K.PushapaKumara  2011  2015
 10.Mrs.G.S.Kannangara  2015  2018
 11.Mrs.R.D.Punchchiweddikkara 2018  2019
 12.Mrs.W.M.Neranjala Hulugalla  2020  2021
 13.Mrs.R.D.Ranasingha 2021 2022
 14.Mrs.S.N.Welgama 2023  Up To now

News & Events

Scroll To Top